Wednesday, September 2, 2009

අළු යට ගිනි පුපුරුද නිවා දැමීම

අළු යට ගිනි පුපුරුද නිවා දැමීම කොටි ත්‍රස්‌තවාදීන් පරාජය කර උතුරේ යුද්ධය නිමා කළ ද කොළඹ ආරක්‌ෂාව සඳහා ගන්නා ක්‍රියාමාර්ග ලිහිල් නොකරන බව ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා ප්‍රකාශ කර තිබිණි.ඇත්තෙන්ම එය ඉතාම නිවැරදි ක්‍රියාමාර්ගයකි. කොටි ත්‍රස්‌තවාදීන් පරාජය කළද අළුයට ගිනි පුපුරු තිබෙන්නා සේ තවමත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මුළුමනින්ම නිමාවට පත්වී නැත.ඊට හොඳම උදාහරණය ලෙස මීට දින කීපයකට උඩදී වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රබල පෙළේ කොටි කාන්තාවක්‌ සතුව තිබූ විදේශ ගමන් බලපත්‍ර ඇතුළු ලිපිලේඛන සනාථ කරයි. සෝමසුන්දර ලෝහරාජිනී නොහොත් "ලෝහා" කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායකයාව සිටි තමිල් සෙල්වම්ගේ භාෂා පරිවර්තකවරිය ලෙස කටයුතු කළාය. ඇය එල්. ටී. ටී. ඊ. සංවිධානය හැඳින්වූයේ "කලේතමිල්" යන නමින්ය."ලෝහා" ගේ සැමියා නඩරාජා දුෂ්‍යන්තන් නොහොත් "ගෝපාලන්" කොටි සංවිධානයේ කට්‌ටි ශ්‍රී මෝටාර් බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ලෝහා ගේ සහ ගෝපාලන්ගේ විවාහය සිදු කෙරුණේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මැදිහත්වීම මතය. කසාදයට අත්සන් තැබුවේ කොටි සංවිධානයේ එවකට පොලිස්‌පතිවරයාව සිටි නඩේසන්ය.පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පැවැති සටනේදී ගෝපාලන් මරුමුවට පත් විය. කොටි දේශපාලන අංශයේ නායකයා වූ තමිල් සෙල්වම්ගේ අවශ්‍ය සියලු පරිවර්තන කටයුතු සිදු කළේ ලෝහාය.ඒ වනවිට ඇය එක්‌දරු මවක වූවාය. කොටි සංවිධානය පරාජයට පත්වීමෙන් පසු "ලෝහා" සිය දරුවාද කරපින්නාගෙන වවුනියාවේ පිහිටි කඳවුරකට ආවාය."ලෝහා" කොටි සංවිධානයේ ප්‍රබල කාන්තාවක බව කිසිවකුත් දැන සිටියේ නැත. කඳවුරේ ටික දවසක්‌ ගත කළ "ලෝහා" සිය දරුවාද සමඟ හොර රහසේ කොළඹට ආවාය.ඒ සඳහා ඇයට උදව් උපකාර කර ඇත්තේ කොළඹ ක්‍රියාත්මක වන කොටි ජාලයේ සාමාජිකයන්ය. වැල්ලවත්ත ප්‍රදේශයේ ලැඟුම්හලක හොර රහසේ නවාතැන් ගැනීමට උදව් උපකාර කර ඇත්තේද කොළඹ සිටින කොටි සාමාජිකයන්ය.ලෝහා කොළඹට පැමිණි පසු ඇයට කොළඹ කොටි ජාලයේ සාමාජිකයකුගෙන් උපදෙස්‌ ලැබිණි. ශ්‍රී ලංකාවේ නොසිට ස්‌විස්‌ටර්ලන්තය බලා යැම සඳහා සූදානම් වන ලෙස ඇයට උපදෙස්‌ ලැබී ඇත.ඒ අනුව දින කීපයක්‌ ගතවීමට පෙර "ලෝහා" සොයා ආ කොටි සාමාජිකයකු ඇයට විදේශ ගමන් බලපත්‍රයක්‌ භාරදී ඇත. ඇගේ තුන් හැවිරිදි දරුවාටද විදේශ ගමන් බලපත්‍රයක්‌ සකස්‌කර දී තිබිණි. මෙම විදේශ ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර සකස්‌ කළ ඒවා බව පරීක්‍ෂණවලදී හෙළි විය.වැල්ලවත්ත පොලිසිය මගින් මෙම කොටි කාන්තාව සහ දරුවා අත්අඩංගුවට ගත්තේ ඔවුන් ස්‌විස්‌ටර්ලන්තය බලා යැමට සූදානමින් සිටියදීය.මෙම සිදුවීම ඉතාම බරපතල එකකි. කොටි සංවිධානය මුළුමනින්ම විනාශයට පත්වී ඇති බව බොහෝ දෙනෙකු සිතා සිටියි. එහෙත් කොටි සන්නද්ධ අංශය විනාශයට පත්වුවද ඔවුන්ගේ ක්‍රියාකාරී කොටි ජාලය තවමත් ක්‍රියාත්මකව තිබෙන බව මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.මෙම කොටි කාන්තාවට ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක්‌ සකස්‌කර දීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ. ඊට ඉතාම සූක්‍ෂම සැලසුමක්‌ තිබිය යුතුය.ඒ අතරම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කිසිවකුගේ හෝ සහායක්‌ නොමැතිව මෙම කටයුත්ත කළ නොහැක. මෙවැනි දෙයක්‌ කිරීමට විශාල මුදලක්‌ද වැය කළ යුතුය. ඒ මුදල් එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ කිසිවකු විසින් හෝ වැය කළ යුතුය.මෙම සිද්ධියෙන් පෙනී යන්නේ කොටි සංවිධානයට සම්බන්ධ ප්‍රබලයන් ඉතාම සූක්‍ෂම ආකාරයට ආරක්‌ෂිත ස්‌ථානවලට යෑවීමේ රහසිගත වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බවයි.ලෝහා නමැති කොටි කාන්තාව එම ක්‍රියාවලියේ එක්‌ සිද්ධියක්‌ පමණක්‌ විය හැක. මෙවැනි ආකාරයට කොටි සාමාජිකයන් තවත් කොතෙකුත් රටින් පැන ගියේ දැයි කිව නොහැක.මේ ආකාරයට තවත් කොටි සාමාජිකයන් පලා යැමටද ඉඩ ඇත. එමෙන්ම ආරක්‌ෂක අංශවලට නොදැනී කොටි ජාලයේ තවත් කොතෙකුත් දේ සිදුවන්නේ දැයි කිව නොහැක. කොටි සංවිධානයට උදව් උපකාර කළ ජාත්‍යන්තර සංවිධාන, විදේශ රටවල සිටින කොටි හිතවාදීන් තවමත් නිරුපද්‍රිතව සිටිති. ඔවුන් කුමන ආකාරයකින් හෝ ශ්‍රී ලංකාවෙන් පළිගැනීමට ඉඩ ඇත.එසේනම් අප ඉදිරියේදීත් මේ ප්‍රශ්නය සුළුවෙන් නොතකා ක්‍රියා කළ යුතුයි. එමෙන්ම වවුනියාවේ සරණාගත කඳවුරුවල සිටින කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ හොර රහසේ මේ වනවිට පලා ගොස්‌ ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.මෙය ඉතාම බරපතල තත්ත්වයකි. කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් නිසි පුනරුත්ථාපනයකින් තොරව නැවතත් සාමාන්‍ය ජනතාව අතරට පැමිණියහොත් බරපතල තත්ත්වයක්‌ උදාවිය හැක.මේ සියල්ල සලකා බැලීමේදී රටේ ආරක්‌ෂාව සඳහා කාගේත් අවධානය තවදුරටත් යොමු විය යුතු බව අපේ හැඟීමයි

No comments:

Post a Comment